Wednesday, November 21, 2012

එදා අද මෙන් හෙටත් හිනැහියන් හිතවතී

විල් දියම සසලයි සුදු නෙලුම් මල පිපී
පිනි බින්දු වැටී පෙති රෑ දිවා දිළිසුණි
බමන බඹරුන් පෙළා තටු සිඳින්නට හැකී
කීම ඵලක් ලබනු මම කාත් කව්රුත් වෙමී

වසන්තය වෙලා නුඹ නාවමුත් කම් නැතී

නුඹ නොදැන සුවද දෙයි මගේ ලොවට හිතවතී
පුදබිමක ඇවිදින්න දෙපා පිරිසිදු මදී
අකුරු කර යනෙන හැටි බලා ඉන්නෙමි සැලී.

ඔබ ලියු සටහන් අකුරු මා ළඟ ඇති

බලා කියවනු කෙලෙස මසිත මා ළඟ නැතී
ඔබෙන් පන්හිඳ රැගෙන ලියු සටහන් මැකී
ඔබේ නම පමණක්ම පිටු පුරා මතුඋනී


මල් උයන් පුරාවට ජීවිතේ නෙත රැඳී

කිසි දිනෙක නොදුටුවෙමි මලක් නම් නුඹ වැනී
විරාගික ඔය දෙනෙත් ඉදිරිපිට නතරවී
ඇත්තමයි භාවනා කරන්නට මට හැකී

වස්සානයේ රුදුරු වැසි වැටෙන රෑකදී

ඇස් දිහා බලා ඔබ මුව පුරා සිනාසී
අවසාන දුම්රියෙන් නික්මයන තුරු ඇදී
දෙතොල අවසඟව මං බලන් උන්නා එබී

මල් පොකුරු පුදින්න මේ පොලව රළු වැඩී

යනෙන මාවත් පුරා අඳුරු කරදර ඇතී
කොහි ගියත් නුඹ දෙසම මම බලනවා හැරි
මම නොකිව්වත් නුඹට නුඹ දන්නවා ඇතී

මට කියා යදින්නට කිසිදෙයක් මට නැතී

ඔය මුවේ සිනාවක් රැඳෙයි නම් මට ඇතී
තැවෙන්නට එපා ඔබ දුකක් මට නම් නැතී
එදා අද මෙන් හෙටත් හිනැහියන් හිතවතී

Wednesday, October 17, 2012

ඒක පාර්ශ්චවික ආදරය


කතා කරන ඇස්වලින් මං දිහා බැලුවත්

නොදැක්කා වගේ බිම බලාගෙන හිටියත්

අමුත්තක් නෑ මසිත නුඹ ලඟදි සසළයි
 
ආදරේ උන්මත්තකයි, ඒක පාර්ශ්චවිකයි

සදාකල් ගෙවෙනතුරු මට ඒක එහෙමයි

පාට රස වින්දත්, සුවඳ මට දැනුනත්
 
මල්  පිපී ඇත්තේ කඩුල්ලෙන් එපිටයි

හුඟක් විට ලැබුනත්, ඉඳහිටක නොලැබුනත්

උහුලගන්නම බැරි, මට නුඹේ සිනාවයි 



Thursday, October 11, 2012

සැඟව ගියා පමණයි

අප මියගියේ නැත
ගිම්හානයේ මල් මෙන්
සැඟව ගියා පමණයි
ඇඟිලි තුඩු දිගුකර
අල්ලා ගත්තා පමණයි ඔබේ අත්
තලා දැමුවා ඔවුන් ඒ අතැඟිලි
අප උන් ඉක්මවා යතැයි බියෙන්
උන්ගේම වූ කාලයක
මෙය උන්ගේ ද්වීපය වූ කල
උන්ගේම දේශය වූ කල
උන් කුලය පමණක් කුලය වූ සඳ
මව් ම පමණකි ඉතිරි අපහට
අප දිනා දුන් දේ
නැවත නැවතත් දිනාගත යුතුය ඔබ
රැගෙන යා යුතුය හෙටටද
එවිට අප මියගියේ නැත
ගිම්හානයේ මල් මෙන්
සැඟව ගියා පමණයි

Wednesday, October 10, 2012

පැරණි සටන් සගයෙකුට කී කව-චූලානන්ද සමරනායක

පැරණි සටන් සගයෙකුට කී කව

ඉල් මසක ගිනි බිඳුණ
රතු කැකුළු පොකුරක
දුක්බරම මතකය දරාගෙන
බස් පොළට ගිය දිනක
ඒත් ඉල් මසකම
දුටිමි නුඹ කෙසග රුව

ලෑලි කඩ පේලියේ කෙළවර
බුකියේ ලෑලි හිඩැස් අතරින්
පෙනුණු අසරුවාගේ මුහුණේ
අතීතේ ලකුණු බොහෝ විය

තබා වම් පය සෑදල වළල්ලේ
සූදානමින් නගින්නට අසුපිට
නේරංජනාවෙන් ඔබ
සිහින කහවනුවක් නෙලන්නට

පළමු මොහොතේම
ඇසට ඇස පැටලුණ
සොඳුරු මදහසමය
දහ අට වසරකට පෙර පුරුදු
සැණින් එය මරාගෙන
නාඳුනන බවම ඇගවෙන
බැල්මකිය
තුරග උප්පැන්න සහතික පළාගෙන

සොයුර පෙර දවස
ගිනි ඇවිල සටන් බිම
උරෙන් උර ගැටී උන් සගයා
මම වෙමිය

ජය වෙවා භංග වෙවා
නගා රණ ගොස
බැටන් පොලු රබර් ඊයම් මූනිස්සම්
දැක දැක
රතු ධජය ගෙන
පෙළපාලියේ නුඹ සමග නුඹ අසලින්ම
ගිය සගයා මම වෙමිය

බූස්සේ පූනානියේ
පැලවත්තේ තෙලවල
ඇල්දිය සමග කදවුරු බත කා
එකට කොක්කෙ එල්ලී
ගුටි කෑ දත් මිටි කමින් උසුලාන උන්
සගයා මම වෙමිය

වැටෙන්නේ අහවල් දෙටද මහත්තයෝ
තෙරෙනවා නම් අපොහකෙ
නිබඳ නුඹ දිරි වදන්
අසා හුන් සගයා මම වෙමිය

අනන්තය සේ ගෙවී ගිය
වසර ගණනක කාලයක පසුව
අද අහම්බෙන්
ඇස ගැටුණ නිමෙෂයක
ඇයි ද නාඳුනන බැල්මක
වහං වී පලායන තැත

එදා ළග නොසිටි අසු ඇති මුත් අද
කො එදා ළග තිබූ අසිපත
එන්නේ නැද්ද කවමදාවත් ආයෙ නුඹ
උරෙනුර ගැටී
ජය වෙවා භංග වෙවා කියන්නට

චූලානන්ද සමරනායක